Sep 23, 2013

මැති ඇමැති ඥාතීහු 19ක් පළාත් සභාවට

මෙවර වයඹ සහ මධ්‍යම පළාත් සභාවට තරග කළ දේශපාලනඥයින්ගේ ඥාතීන් දහනව දෙනකු ජයග්‍රහණය කර පළාත් සභාවන්ට තේරී පත්ව ඇත. එසේම දේශපාලනඥයින්ගේ ඥාතීන් ලෙස මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් දෙදෙනකු පරාජයට පත්ව තිබේ. 

මාත‍ලේ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය අනුව ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකේන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකේන් මහතා එම මනාප ලැයිස්තුවේ පළමු තැනට පත්ව ඇත. එසේම ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ සහෝදරයා වන පරාක්‍රම දිසානායක මහතාද මාත‍ලේ දිස්ත්‍රික්කයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත්ව සිටියි. උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායකගේ පුත් චින්තක ඒකනායක මහතාද මාත‍ලේ දිස්ත්‍රික්කයෙන් පත්ව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මතාගේ සොහොයුරු රංජිත් අලුවිහාරේ එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ වැඩිම මනාප ලබා ගනිමින් පළමු ස්ථානයට පත්ව තිබේ. මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ අගමැති දි.මු. ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතා දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වෙමින් පළාත් සභාවට තේරී පත්ව ඇත. මහනුවරින් තරග කළ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සොහොයුරාගේ පුත් තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාද පළාත් සභාවට පත්ව සිටියි. රාජ්‍ය කළමනාකරණ ඇමැති නවින් දිසානායක මහතාගේ සොයුරු මයන්ත දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට ජයග්‍රහණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මහතාගේ පියා වන එදිරිවීර වීරවර්ධන මහතාද මහනුවර දිස්ත්‍රික්කයෙන් පළාත් සභාවට තේරී පත්ව ඇති අතර නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ සොහොයුරු සරත් ඒකනායක මහතාද ජයග්‍රහණය කර තිබේ. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ බාප්පාගේ පුතු වූ ආනන්ද අලුත්ගමගේ මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගකොට පරාජයට පත්ව ඇති අතර ඇමැතිවරයාගේ මස්සිනා වන ආනන්ද වීරසිංහ මහතා වැඩි ඡන්ද ලබාගනිමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් පළාත් සභාවට තේරී පත්ව ඇත. එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නුවරඑළිය දිස්ත්‍රක්කයට තරග කළ උසස් අධ්‍යාපන ඇමැති එස්.බි. දිසානායක මහතාගේ වැඩිමහල් සොහොයුරු සාලිය දිසානායක මහතා පරාජයට පත්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කළ ඇමැති එස්.බි. දිසානායක මහතාගේ සොයුරු ජයලත් දිසානායක මහතා ජයග්‍රහණය කරමින් මධ්‍යම පළාත් සබාවට තේරී පත්ව ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාද ජයග්‍රහණය කර ඇති අතර ඇමැති ජයරත්න හේරත් මහතාගේ පුත් පියුමාල් හේරත් මහතාද පළාත් සභාවට තේරී පත්ව තිබේ. එසේම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සොහොයුරු චන්දන යාපා මහතාද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කර ඇත. තවද ඇමැති සාලින්ද දිසානායක මහතාගේ බිරිඳ වන මංජුලා දිසානායක මහත්මියද වයඹ පළාත් සභාවට තේරී පත්වූවාය. එක්සත් ජාතික පක්ෂ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත් අසංක පෙරේරා මහතාද එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට ජයග්‍රහණය කර ඇත. රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමැති දයාශ්‍රිත තිසේරා මහතාගේ සොහොයුරාගේ පුත් සුමල් තිසේරා පුත්තලම දිස්ත්‍රික්කයෙන් වයඹ පළාත් සභාවට තේරී පත්ව සිටියි. හිටපු ඇමැති ද.මු. දසනායක මහතාගේ බිරිඳ වන ඉන්ද්‍රාණි දසනායක මහත්මියද පුත්තලම දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් තේරීපත්ව ඇත. ඇමැති ද.මු. දසනායක මහතාගේ සොහොයුරියකගේ බෑණා කෙනකු වන අමල් මායාදුන්නේ මහතාද වයඹ පළාත් සභාවට පුත්තලම දිස්ත්‍රික්කයෙන් තේරීපත්ව සිටියි.

No comments:

Post a Comment