Sep 29, 2013

වයසක අම්මයි දුවයි මැරූ .....

වැල්ලවාය පොලිස් වසමේ කුඩාඔය ප්‍රදේශයේ පදිංචිව සිටි මව හා දියණිය ඝාතනය කළ පුද්ගලයන්ට ශාප කරමින් ප්‍රදේශවාසීහු දෙවියන් ඉදිරියේ පොල් ගැසූහ. කන්නලව් කළහ. ගමේ ගොඩේ කඩේ පිළේ සෑම තැනකම සිදුවන කතාබහේ මූලික මාතෘකාව වූයේ ද මේ අසරණියන් දෙදෙනා මරා දැමීමේ සිද්ධියයි. බොහෝ දෙනකු විමතිය පලකළේ අත් පා කොරවී, දත් හැලී දුබල තත්ත්වයේ පසුවූ වයෝවෘද්ධ හීංහාමි දූෂ්‍ය කර තිබීම යි.
“ඔය දෙන්නා මරාදාපු දවසේ හවස හල්මිල්ල වැව ඉස්මත්තෙ ඉඳගෙන තුන්දෙනෙක් ටිකක් රෑ වෙනකල් අරක්කු බීලා තියෙනවා.”
“කවුද තුන්දෙනා..?”
“ගොලු පොඩ්ඩයි, දෙබරයි, පුෂ්පානන්දයි”
“ගමේ කට්ටිය මිනී මරුවන්ට හෙන ඉල්ලලා දෙවියන්ට පොල් ගහපු දවසේ ඔය තුන්දෙනා ඇවිත් හිටියේ නැතිලු”
“දන්නව ද? ඔය පුෂ්පානන්දයා පොල් ගහපු කට්ටියට තැන් තැන්වල බැනලා තියෙනවා....”
කුඩාඔය තේ කඩවල කැරම් ගසමින්, ප්ලේන් ටී බොමින්, කෙසෙල් ගෙඩි කමින් සිටි පිරිස් අතර ඇති වූ මේ කතා බහෙන් අනතුරුව එම ස්ථානයෙ රැඳී සිටි අමුතු තාලේ පිරිමි කිහිපදෙනා හෙමින් සීරුවේ එතැනින් යන්නට ගියහ. ගම්මු මීට පෙර ඔවුන් දැන හැඳින සිටියේ නැතත් හේන් වැඩ සොයාගෙන මේ ගමට පැමිණි බව කී ඔවුන් හා ගමේ සිදුවූ දේ පවසන්නට ගම්වාසීන් පසුබට වූයේ ද නැත.
කුඩාඔයට පැමිණ සිටි මේ ආගන්තුකයන් ගෝණගංආර පොලිසියේ නිලධාරීන් බව කිසිවකු දැන සිටියේ නැත. හීංහාමිගේ හා බේබිහාමිගේ ඝාතකයන් පිළිබඳ සෑහීමකට පත්විය හැකි පොටක් පාදාගත් කණ්ඩායම ඊළඟට කළේ නම් කියැවුණු තිදෙනා සොයා ඔවුන් පසුපස හඹායාම ය. ගොළු පොඩ්ඩා හා දෙබරා ඌව කුඩාඔය ප්‍රදේශයේ කුලී වැඩ කරන බවට තොරතුරු සොයාගත් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඒ දෙදෙනා අත්අඩංගුවට ගත්තේ ය. ඊළඟට සොයා ගත යුත්තේ පුෂ්පානන්දයි. ඔහුගේ නිවෙස අසල රැකවලේ සිටි පොලිස් කණ්ඩායමකට ඔහු ගඟ දෙසට යමින් සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි විය.
අල්ලාගත් තිදෙනා ගෝණගංආර පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කිරීම ආරම්භ කළේ ය.
“අපි තමයි මේක කළේ සර්. තිලකලතා අක්කා තමයි අපිට රුපියල් පනස්දාහක කොන්තරාත් එකක් දුන්නේ.”
තිලකලතා... ? හීංහාමි හා බේබිහාමි නිවෙස තුළ මරා දමා ඇති බව මුලින් ම දුටුවේ ඇය යි. ඒ බව පොලිසියට කීවේ ද ඇයයි. පොලිසිය පැමිණ පරීක්ෂණවල යෙදෙද්දී වැඩිම සහයෝගය දෙමින් පොලිසියට බොහෝ තොරතුරු සපයා දුන්නේ ද ඇයයි. පොලිසිය ඇය සොයා යද්දී දැන ගන්නට ලැබුණේ ඇය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි.
“තිලකලතා අක්කට මේක කරවලා දෙන්න කියලා තිබුණේ බුත්තල ඉන්න අමරෙ අයියා. එයා ඔය බේබිහාමි අක්කගේ මැරුණු මහත්තයාගෙ නංගිගේ පුතා.”
බුත්තල පදිංචි අමරේ සොයා ගිය පොලිසියට දැන ගන්නට ලැබුණේ බේබිහාමිලා ඝාතනය වී දින දෙක තුනක් ඇතුළත දී ඔහු මියගිය බවයි. දතක අමාරුවක් සෑදී රෝහලට ගිය ඔහුගේ හක්කේ තිබූ නරක් වූ දත රෝහලේ දන්ත වෛද්‍ය නිලධාරියා විසින් ගලවා දමා තිබුණි. නිවෙසට ආ අමරේ ගේ හක්ක ටිකෙන් ටික ඉදිමෙන්නට ගත්තේ තිරිසන් සතකුගේ ආකාරයට මුහුණ වෙනස් වෙමින් ය. කටේ අමාරුවෙන් කෑ ගසන්නට වූ අමරේ බුත්තල රෝහලට ඇතුළත් කළ අතර එහි දී ඔහුට එන්නතක් ලබා දී තිබිණි. එන්නත ඔහුගේ සිරුරට අසාත්මික වී ඔහු එදින රාත්‍රියේම මියගියේ ය. හීංහාමි ගේ හා බේබිහාමිගේ ඝාතන සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු හෙළිවෙද්දී අමරේ ගේ මරණය “දිට්ඨ ධම්ම වේදනීය කර්මය” පලදීමක් වැනි ය.
අත්අඩංගුවට පත් තිදෙනාගෙන් හා මියගිය බේබිහාමිගේ හා සැමියාගේ පාර්ශවයෙන් හා ළඟම ඥාතීන්ගෙන් ලද තොරතුරුවලට අනුව මෙම ද්විත්ව ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීමට පොලිසියට හැකි විය.
විවාහ වන වයස ඉක්මවා බොහෝ කලක් ගතවෙද්දී බේබිහාමිට විවාහ යෝජනාවක් ආවේ කළුබණ්ඩා මුදලාලිගෙනි.
ඔහුගේ පළමු විවාහයේ බිරිය මියගොස් සිටි අතර වැඩිහිටි දූදරුවන් විවාහ වී සිටියේ ය.

බේබිහාමි හා නීත්‍යානුකූලව විවාහ දිවියට එළැඹි කළුබණ්ඩා සිය බිරිය හා බිරියගේ මව හීංහාමි ද තමාට අයත් නිවෙසේ පදිංචි කර ගත්තේ ය. කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන ගිය කළුබණ්ඩා සර්ප විෂට ද වෙදකම් කළේ ය.
ඔහු සිය බිරිය හා පදිංචි ඉඩමේ අයිතිය තිබුණේ බුත්තල පදිංචි ඔහුගේ බාල සහෝදරියකටයි. අමරේ ඇගේ පුතා ය.
අක්කර එකහමාරකින් පමණ සමන්විත මෙම ඉඩම සිය පළමු විවාහයේ පුත් නන්දසිරිගේ නමට ලියන්නට කළු බණ්ඩා සැලසුම් කළේ ය. බිරිය බේබිහාමි හා පුත් නන්දසිරි හා කළුබණ්ඩා එක්ව මීට වසර හත අටකට ඉහත දී එම ඉඩමේ ඔප්පුව නන්දසිරි නමට ලියූ අතර ඒ බවක් වෙන කිසිවෙක් දැන සිටියේ නැත.
සැමියාට බරක් නොවී දෑතේ මහන්සියෙන් මුදලක් උපයා ගැනීමට බේබිහාමි ද කටයුතු කළ අතර ශක්තිමත් ගැහැනියක වූ ඇය හේන්වල වැඩට ගියා ය.
අසල්වැසි තිලකලතා ඇයගේ හොඳම මිතුරියක වූ අතර අටදරු මවක් වූ ඇය වැන්දඹුවකි. කාලය ගෙවී යද්දී කළුබණ්ඩා රෝගීව එක්තැන් වූ අතර වයෝවෘද්ධ මවගේත්, එක්තැන් වූ සැමියාගේත් සියලු වගකීම් පැවරුණේ බේබිහාමිට යි.
දිරිය කතක වූ ඇය හේන්වල වැඩකර මුදල් ඉපැයූ අතර එක්තැන්ව සිටි සැමියා වෙනුවෙන් ද කළයුතු සියලු යුතුකම් ඉටුකළා ය. පසුගිය පෙබරවාරි මාසයේ දී කළුබණ්ඩා මියගිය අතර ඔහුට අයත්, ඔහුගේ නංගීගේ නමට ලියා ඇති බව සැවොම දන්නා, එහෙත්..... හොර රහසේ පුතාගේ නමට ලියූ ඉඩමේ ඇය සිය මව හා තනි වූවා ය.
වැන්දඹු තිලකලතාට පෙම්වතකු සිටියේ ය. ඔහු බුත්තල අමරේ බව වැඩිදෙනකු දැන සිටියේ ද නැත. තම මවට අයත් ඉඩමේ පදිංචිව සිටිනා බේබිහාමි හා හීංහාමි පිළිබඳ අමරේගේ සිතේ තරහක් ඇතිව තිබුණේ තමාට අයිතිකරගත හැකි ඉඩමේ භුක්තිය පිටස්තරයන් දෙදෙනකු විඳින බවට සිත පුරා උඩුදුවමින් තිබූ ද්වේෂකාරී හැඟීම මත ය.
මවගේ නමට ඇති ඉඩම ලබා ගැනීමට නම් මේ අම්මයි දුවයි එලවා දැමිය යුතු ය. එවිට ඉඩමේ අයිතිය මවගෙන් තමාට ලබාගත හැකි ය. එවිට තිලකා සමඟ එහි පදිංචි විය හැකි ය. තම සිතෙහි කාලයක් පුරා පැලපදියන්ව තිබූ අදහස අමරේ සිය අනියම් බිරිය තිලකලතාට කීවේ ඇය ඕනෑමදේකට ඔට්ටු ගැහැනියක බව දැන සිටි නිසා ය.
අමරේගේ මේ යෝජනාවට අනුව අම්මයි දුවයි නිවෙසින් එලවා දැමිය හැකි ක්‍රමයක් වෙද්දැයි දෙදෙනා එක්ව සාකච්ඡා කළහ.
“තිලකා.... මට මේ දෙන්නා එලවන්න රුපියල් පනස්දාහක් වියදම් කරන්න පුළුවන්.....”
“හරි මම බලන්නම් මොකක් ද කරන්න පුළුවන් කියලා...”
අමරේගේ යෝජනාව ක්‍රියාවට නැංවීමේ වගකීම බාරගත් තිලකලතා මුලින්ම හමුවූයේ ගමේ රස්තියාදුකාරයකු වූ පුෂ්පානන්දයි.
“පුෂ්පේ.... රුපියල් පනස්දාහක් දෙන්නම්. අර හීංහාමි නැන්දලා ගෙදරින් එලවලා දීපං...”
කොන්තරාත්තුව බාරගත් පුෂ්පානන්ද ඊළඟට හමුවූයේ ඔහුගේ හොඳම මිතුරන් දෙදෙනකු වන ගොළු පොඩ්ඩා හා දෙබරා ය. තිදෙනා එක්ව මහලු මව හා දියණිය නිවෙසින් එලවා දැමීමේ සැලසුම සකස් කළහ.
සැලසුමට අනුව පසුගිය හතරවැනිදා සවස මේ මිතුරන් තිදෙනා හල්මිල්ල වැව් ඉස්මත්තට ගියේ අරක්කු බෝතලයක් ද රැගෙනයි. රාත්‍රී අටහමාර පමණ වනවිට බෝතලය හිස්කළ තිදෙනා කෙලින්ම ගියේ හීංහාමිලාගේ නිවෙස වෙතට ය. එවිට වේලාව රාත්‍රී නවය පමණ වී තිබිණි.
සැලසුමට අනුව දෙබරා ට පැවරුණේ නිවෙසේ පිටතින් සවිකර ඇති විදුලි මීටරයේ කටවුට් එක ගලවා විදුලිය විසන්ධි කිරීමයි. ඔහු තම කාර්යය ඉටුකරන අතරේ පුෂ්පානන්ද හා ගොළු පොඩ්ඩා පිටුපස දොර අසලට ගියහ. දොර වසා ඇත. රැගෙන ආ ඉස්කුරුප්පු නියන උපයෝගී කරගෙන දොර කඩා නිවෙසට ඇතුළු වූ දෙදෙනා ඉදිරියට ගියේ ගොළු පොඩ්ඩා අත වූ ජංගම දුරකථනයේ ටෝච් එළියෙනි.
දවල් දවස පුරා කට්ට අව්වේ වේලෙමින් හේන්වල වැඩ කොට ගෙදරවිත් මවට සාත්තු සප්පායම්කොට වෙහෙසට පත් බේබිහාමි ද වයෝවෘද්ධ හීංහාමි ද ඒ වන විට ගැඹුරු නින්දට පිවිස සිටියේ කුඩා කාමර දෙකේ ය.

ගොළු පොඩ්ඩා හීංහාමි නිදන කාමරයට ගිය අතර පුෂ්පානන් ද සාලයේ නැවතී සිටියේ ය. වයෝවෘද්ධ මව අසලට ගිය ගොළු පොඩ්ඩා මුලින්ම කළේ කොට්ටයක් ගෙන ඇයගේ මුහුණට තබා තද කිරීමයි. ඒ සමඟම නින්දෙන් පිබිදුණ අසරණිය දඟලන්නට වූ අතර ඇය හැඳ සිටි චීත්තය ද ගැලවිණි. ඒ අවස්ථාවේ දී ගොළු පොඩ්ඩාට තවත් තිරිසන් හැඟීමක් පහළ විය. ඔහු ඇයගේ මුහුණ කොට්ටයෙන් තද කරගෙන ම ඇය දූෂ්‍ය කළේ ය. ඒ අතරතුර ඇය නිහඬ වූවා ය.
අල්ලපු කාමරේ නිදාසිටි බේබිහාමි තිගැස්සී ඇහැ ඇරුණේ මවගේ කාමරය දෙසින් ඇසුණු අමුතු ශබ්දවලිනි. විදුලිපන්දම දල්වාගෙන මවගේ කාමරයට ගිය ඇය දුටුවේ මව අසල සිටි ගොළු පොඩ්ඩා ය.
“ගොළු පොඩ්ඩා..... මොනවද උඹ ඔය කරන්නේ....”
එලෙස කියාගෙන ගොළු පොඩ්ඩා වෙත කඩා පැන්න බේබිහාමි ඔහු හා පොර බදන්නට වූයේ සිය කයෙහි වූ මුළු ශක්ති ප්‍රමාණයම උපයෝගී කරගනිමිනි.
මේ හඬ ඇසුණු පුෂ්පානන්ද එතැනට දිව එන විට දුටුවේ ගොළු පොඩ්ඩා හා පොර බදන බේබිහාමි ය. බේබිහාමි වෙත කඩා පැන්න පුෂ්පානන් ද ඇයගේ ගෙල දෑතින් මිරිකා අල්ලා ගත්තේ ය. මේ දැඟලිලි අතරේ ඇය හැඳ සිටි චීත්තය ද ගැලවී ගිය අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පුෂ්පානන් ද භාගෙට මියගොස් සිටි ඇය දූෂ්‍ය කළේ ය.
බේබිහාමි ද අවසන් හුස්ම පොද වාතලයට මුසු කළා ය.
ඉන් අනතුරුව දෙදෙනා එක්ව බේබිහාමිගේ සිරුර අත්පාවලින් ඔසවා රැගෙන ගොස් හීංහාමිගේ සිරුර අසලින් තබා මෙහෙයුම අවසන් කළේ ය.
“පොලිස් බල්ලෝ ගෙනාවොත් අපේ පස්සෙන් ඒවි. ඒක නිසා මේක නන්දසිරියා කළා වගේ දැනෙන්න උඹ නන්දසිරිගේ වත්තට ගිහින් ගේ වටේ ටිකක් කැරකිලා වරෙන්....”
පුෂ්පානන්දගේ උපදෙස් මත ගොළු පොඩ්ඩා නන්දසිරිගේ නිවෙස වටා, වට කිහිපයක් ඇවිද්දේ ය. පසුව තිලකලතා හමුවී වැඩේ අවසන් කළ බව කියා මුදල් ඉල්ලුව ද ඇය මුදල් දී තිබුණේ නැත. එහෙත්.... ඒ වන විට ඇය අමරේගෙන් රුපියල් විසිපන්දහසක් ලබාගෙන තිබිණි. පුෂ්පානන්ද ඇතුලු තිදෙනා කිසිවක් නොදන්නා සේ සිටි අතර තිලකලතා සිය රංගනය ආරම්භ කළේ ඉන් පසුව ය.
හතරවැනිදා රාත්‍රියේ දී හීංහාමි මවත් බේබිහාමි දියණියත් මියගිය බව දැන සිටි තිලකා ඊට පසුදින හේන් වැඩට ගියේ දොර වසා ඇති බේබිහාමිගේ නිවෙස දෙස බලමිනි.
“එදා හවස තිලකලතා අක්කා මට කෝල් එකක් දීලා කිව්වා අම්මයි අක්කයි දෙන්නම ගේ ඇතුලේ මරා දාලා දැන්ම ම වරෙන් කියලා... ඒ කියද්දි අපේ අතේ සතයක්වත් තිබුණේ ණෑ. අපි වැඩ කරන බියගම බියර් එකට ගිහින් රුපියල් දාහක් ඉල්ලුවම දෙදාහක්ම දුන්නා. අපි දෙන්නා ඒ වෙලාවෙම බස් එකක නැගලා කුඩාඔය ගියා...”
“අපි යද්දී මිනී අරගෙන ගිහින්. හම්බන්තොට ඉස්පිරිතාලෙට ගිහින් තමයි මිනී බැලුවේ. අම්මගේ මිනිය නම් අයිස් පෙට්ටියේ දාලා තිබුණා. අක්කගේ මිනිය දාන්න ඉඩ නෑ කියලා නිකං එළියේ කුණුවෙවී තිබුණා. මිනී දෙකම සීල් කරලයි අපිට හම්බ වුණේ...” කොළඹ පදිංචි හීංහාමිගේ පුත් සිරිපාලගේ බිරිය පැවසුවා ය.
“අපේ අම්මාට ළමයි තුන්දෙනෙක් හිටියා... ඔය මැරුණ අක්කයි, තව අයියා කෙනකුයි. මම බාලයා. අයියා කොහේ ඉන්නවද දන්නේ නැහැ. අම්මගෙයි අක්කගෙයි මිනී බාර ගත්තේ මම. අවසන් කටයුතු කරන්න ගමේ සමිති වලින් සල්ලි ලැබුණා. අපේ අම්මයි අක්කයි දෙන්නම ගමේ මරණාධාර සමිතිවලට බැඳිලා හිටියා...” පුත් සිරිපාල පැවසීය.

“අපි ගමේ යද්දී තිලකා අක්කා අපේ ගෙදර හිටියා. මම අඬද්දී එයා කිව්වා මොනවා කරන්නද නංගියේ දැන් අඬලා වැඩක් නැහැ මැරුණ කෙනා මැරුණා දැන් ඉස්සරහට කරන්න තියෙන දෙයක් කරමු කියලා. දේවාල වල යනවා නම් මාත් එන්නම්... මාස තුන ගියාම අපි මළවුන් ගෙන්වන තැනකට ගිහින් බලමු කියලාත් තිලකා අක්කා කිව්වා.”
“අපි කොළඹ ඇවිත් හත් දවසේ දානෙ දීලා තිලකා අක්කට කෝල් කරලා කිව්වා. එයා කිව්වා මමත් මහියංගනයේ කඩේට වැඩට යනවා. තුන්මාසේ දානේ එන්නේ පස්වැනිදාට නේද කියලත් එයා ඇහැව්වා. ගොළු පොඩ්ඩලව ඇල්ලුවට පස්සේ අපි තිලකා අක්කට කෝල් කළා. ඒත් එයාගේ ටෙලිෆෝන් එක දිගටම වැඩ කළේ නෑ. අපි හිතුවේ මහියංගනේ ගිය නිසා ෆෝන් එක වැඩ කරන්නේ නෑ කියලා. ඒත් අපිට හිතා ගන්න බෑ තිලකා අක්කා මේ වගේ අපරාධයක් කළාද කියලා... එයා බේබිහාමි අක්කගේ හොඳම යාළුවා. අක්කා පොළට ගිහින් බනිස් ගෙඩියක් ගෙනාවත් තිලකා අක්කගේ කොටස අරන් තියනවා. ගෙදර ආවොත් බත් කාලම තමයි යන්නේ... තනි නොතනියටත් අක්කලාගේ ගෙදර ඇවිත් ඉන්නවා...” සිරිපාලගේ බිරිය පවසන්නේ එවන් කතාවකි.
අතුරුදන්ව සිටි තිලකා සොයා ගිය වැල්ලවාය පොලිසියේ අපරාධ අංශයට ඇය මහියංගනය පෙරහර භූමියේ වෙළෙඳසලක සිටින බවට තොරතුරක් ලැබිණි. ඒ අනුව පසුගිය දහඅටවැනිදා රාත්‍රියේ දී ඇය අත්අඩංගුවට ගත් අතර ඇය කියා සිටියේ තමන් එවන් කොන්ත්‍රාත්තුවක් නොදුන් බවත් තමන් මේ කිසිවක් නොදන්නා බවත්ය. ඒත් ඇය කියන්නේ ඇත්තක්දැයි දැනගැනීමට අමරේ අවශ්‍ය වුවද ඔහුද ඒ වනවිටත් මිය ගොස් සිටිම පරීක්ෂණ වලට බාධාවක් ගෙන දුන්නේය.
අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනාගෙන් හා සැකකාරියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුහු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර අපරාධයක් සදා වැළලිය නොහැකි බව යළි යළිත් පසක් කර දෙමින් මේ අමානුෂික තිරිසන් ඝාතනයේ සුළමුල පොලිසිය මෙසේ හෙළිකරගත්තේය..
නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, මොණරාගල පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක සහකාර පොලිස් අධිකාරි ධ් උදිත් ලියනගේ, සහකාර පොලිස් අධිකාරී ධ්ධ් නිමල්සිරි පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් මත වැල්ලවාය පොලිසියේ අපරාධ අංශයත්, ගෝණගංආර පොලිසියේ ස්ථානාධිපති නන්දන සමන්සිරි, සැරයන් 18018 කරුණාදාස, කොස්තාපල්වරුන් වන 10690 නිලන්ත, 27650 පුෂ්පකුමාර, 38409 නිශාන්ත, 60200 දිසානායක, 40737 රත්නායක, 74652 ලක්ෂ්මන්, 74655 ජයන්ත, 74773 නිමල් යන පිරිස පරීක්ෂණ වල නිරත වූ
හ.

No comments:

Post a Comment