අමා විජේසේකර කියන්නේ ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රා කළුආරච්චි යන අයගේ ආදරණීය දෝණි. කලක් නිහඬව සිටි ඇය මෑතක සිට වේදිකාවේ දක්නට ලැබෙනවා. ඇගේ අලුත් තොරතුරු දැන ගන්න මෙවර අපි ඇය සොයා ගියා.
* අමා කාලෙකට පස්සෙ නේද රඟපාන්නෙ?
ඔව්. ගොඩ කාලෙකට පස්සෙ තමයි. නැවත මම රංගන ක්ෂේත්රයට ආවේ. ඒ වේදිකාව තුළින්. ඊට අමතරව චිත්‍රපට දෙකකට සම්බන්ධ
වුණා. මම බොහොම සතුටින් තමයි මේ වේදිකා නාට්‍යවලට වගේම චිත්‍රපට සඳහා ද සහභාගි වුණේ.ඔව්. ගොඩ කාලෙකට පස්සෙ තමයි. නැවත මම රංගන ක්ෂේත්රයට ආවේ. ඒ වේදිකාව තුළින්. ඊට අමතරව චිත්‍රපට දෙකකට සම්බන්ධ
*ඔබ සම්බන්ධ වුණ වේදිකා නාට්‍ය පිළිබඳ හැඳින්වුවොත්?
ඒ.එම්.ඩී. උපාලි මහතාගේ ඉඩමේදී විකිණේ වේදිකා නාට්‍යය සමග සම්බන්ධ වුණා. ඊට අමතරව රංජිත් ධර්මකීර්ති මහතාගේ ‘අංගරා ගඟ ගලා බසී’ වේදිකා නාට්‍යයටත් සහභාගි වෙලා හිටියා.
* ඔබේ මේ දෙවන ආගමනය වේදිකාවෙහි සිද්ධ වෙන්නෙ ඇයි?
ඇත්තටම කිව්වොත් දැන් රට තුළ බිහිවෙන ටෙලි නාට්‍යයවලට මගේ කිසිම කැමැත්තක් නැහැ. මට සාපේක්ෂව මම විශ්වාස කරනවා ලංකාවේ ප්රශස්ත නිර්මාණ බිහිවීමේ ප්රවණතාවයේ අඩුවක් තිබෙන බව.
* මේ ඔබගේ අකැමැත්ත පිළිබඳ විග්රහ කළොත්?
සියල්ල විකිණෙන පාරිභෝජනවාදී සමාජයක් තියෙන්නෙ දැන්. කලාව වුණත් විකිණෙන එක නවත්වන්න බැහැ. කලාව අලෙවි වීමේදී එතන නිර්මාණාත්මක භාවයක් නැහැ.
* ඔබ දකින විදිහට මේ තත්ත්වයට හේතුව කුමක්ද?
මාධ්‍ය හරහා ජනතාවට මේ ලාභ නිර්මාණ හුරු කරලා තියෙන්නේ. ඒක මිනිස්සුන්ට හුරු වෙලා නෙවෙයි හුරු කරලා තියෙන්නේ. අඩු වියදමින් කරන මේ නිර්මාණ ගැන මීට වඩා කතා කරන්න දෙයක් නැහැ.
* මේ තුළින් ප්‍රේක්ෂකයාගේ රසිකත්වය අඳ බාල වීමක් වෙනවාද?
මම විශ්වාස කරන්නේ නැහැ ප්‍රේක්ෂකයන්ගේ රසිකත්වය බාල වෙලා තියෙනවා කියලා. ප්‍රේක්ෂකාගාරයට ගුණාත්මක නිර්මාණ ලබා දුන්න හොත් ඔවුන් ඒ නිර්මාණ භාර ගනීවි. නිරන්තරයෙන්ම මාධ්‍ය හරහා මිනිස්සුන්ට නරක දේ ලබා දීමේ අවසාන ප්‍රතිඵලය ප්‍රේක්ෂකයෝ ටෙලි නාට්‍ය බැලීමෙන් ඉවත් වීම පමණයි.
* ඔබ මෙලෙස නිර්මාණවලින් ඈත්වුණොත් ඔබ ක්ෂේත්රයේ හුදකලා වීමක් සිද්ධ වෙයිද?
ඇත්තමයි මට හුදකලා වුණත් කමක් නැහැ. බාල නිර්මාණවලට සහභාගි නොවී. එතකොට සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන්. මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙලා එහි රඟපෑමෙන් මම ලබන තෘප්තියක් නැහැ.
* අමාට මෙගා නාට්‍යවලින් ආරාධනා ලැබෙන්නෙ නැද්ද?
නැහැ. ඇත්තටම මට මතක නැහැ මට මෙගාවලට ආරාධනා ලැබිලා තියෙනවාද කියලා.
* එහෙනම් ජනප්‍රිය සංස්කෘතියට ඔයාව අමතක වෙලා?
වෙන්න පුළුවන්. මොකද ජනප්‍රිය සංස්කෘතිය පිටුපසින් යන කෙනෙක් නෙවෙයි මම. මට මෙගාවලට ගැළපෙන මූණක් නැති නිසා වෙන්නැති.
* අමා ඔය ගුණාත්මක නාට්‍ය කියලා කියන්නෙ මොනවද?
නාට්‍යයේ තිර පිටපත සාර්ථක විය යුතුයි. ඒ තුළින් තමයි නිර්මාණාත්මක නිර්මාණයක් බිහිවීමේදී සියයට හතලිහක් පනහක් පමණ දායකත්වයක් ලබා දෙන්නේ. අනිත් දේ අධ්යක්ෂවරයා පිළිබඳ මගේ විශ්වාසයක් තිබිය යුතුයි. එම නිර්මාණයේ මගේ චරිතය තත්පර පහකට සීමා වුණත් ඒ තුළ මට රඟපෑමට දෙයක් තියෙනවා නම් එය මට ගුණාත්මකයි.ඒ වගේම ඒ නිර්මාණයට සහභාගි වෙන අනෙකුත් ශිල්පිනුත් ඉතා වැදගත් වෙනවා.
* ඔබේ වෘත්තිය රඟපෑමද?
මගේ වෘත්තිය රඟපෑම නෙවෙයි. මට සාපේක්ෂව ගුණාත්මක නිර්මාණවලට සහභාගි වීමට පමණයි මට අවශ්‍ය.
* ඒ කියන්නෙ අමා විජේසේකරට ජනප්‍රියත්වය අවශ්‍ය නැහැ කියලද?
මං ජනප්‍රියත්වය පිටුපස දුවන කෙනෙක් නෙවෙයි.
* එහෙනම් අමාට රඟපෑමෙන් අනාගතයක් අවශ්‍ය නැහැ?
මට ඕනෙ, තරුවක් වෙන්න නෙවෙයි. ක්ෂේත්රයේ මුල් බැසගත් කෙනෙක් වෙන්න මගේ අම්මා තාත්තා වගේ. එයාලා හොඳ අඩිතාලමක් දා ගත්තු අය.
මගේ නැවත පැමිණීමේ අඩිතාලම ගුණාත්මක භාවයෙන් පැවැතිය යුතු නිසාම තමයි වේදිකාවෙන් පැමිණියේ. මොකද මට රංගනය පිළිබඳ හැදෑරීමක් නැහැ. මට රඟපෑම පිළිබඳ හැදෑරීමක් අවශ්‍යයි.
* ඉඩමේදී විකිණේ වේදිකා නාට්‍ය සඳහා දායක වෙන්නෙත් මේ හැදෑරීම සඳහාද?
ඇත්තටම ඔව්. ඉඩමේදී විකිණේ නාට්‍ය වගේම අනෙක් වේදිකා නාට්‍ය සඳහා මම සම්බන්ධ වුණේ මේ හැදෑරීම සඳහාමයි. මම වේදිකා නාට්‍යයන්ට සම්බන්ධ වෙලා අති විශාල තෘප්තියක් ලැබුවා. ඒ වගේම මේ නාට්‍ය තුළ දැනට වේදිකාවේ හැසිරෙන දක්ෂ තරුණ රංගන ශිල්පීන් වගේම ක්ෂේත්රයේ දැවැන්තයන් සමගත් මට වැඩ කටයුතු කිරීමට ලැබිම අති විශාල සතුටක්.
* ඔයා මේ ක්ෂේත්රයට පය ගහන්න හේතුව ඔයාගේ දෙමාපියන් නේද?
අනිවාර්යයෙන්ම ඔව්. මම එහෙම නැහැයි කියනවා නම් ඒක බොරුවක්.
* ඔයාගේ දෙමාපියන්ගේ හැඳුනුම්කම් නිසා මේ ක්ෂේත්රයේ රැඳී සිටින්න ඔබට හැකි වේද?
මේ ක්ෂේත්රයට ඒමේදී මුලින්ම මාව හඳුනා ගත්තේ මගේ දෙමාපියෝ නිසා. මේ මගේ දෙවන ආගමනය. මම කලින් කරපු චරිත සමග මම දැන් සංසන්දනයක යෙදෙනවා. ඒ තුළින් හොඳ චරිත රඟපාන්න මම උත්සාහ කරනවා. මගේ මේ දෙවන ආගමනයේ අනාගතයේ සාර්ථකත්වයේ වගකීම මගේ අතේ තියෙන්නේ.
No comments:
Post a Comment