Sep 20, 2013

අනේ අනිච්චං - මඟුල් ගෙදර සංගීතය නන්දේගේ කවියෙන් නැවතිලා

වර්තමානයේ විවාහ උත්සවවලට සංගීත කණ්ඩායමක් සහභාගි කරවා ගැනීම විලාසිතාවක් බවට පත්ව තිබේ. මෙම සිද්ධියට අදාළ මඟුල් ගෙදරද එවැන්නකි. ආරම්භයේ සිහින් හඩින් ඇරඹෙන බටහිර සංගීතය කෑම බිම ගැනීමෙන් පසුව ශාලාව තුළ සිටින්නටවත් අපහසු ලෙස වැඩි ශබ්දයකින් සංගීතය පැතිරිණි. මධුවිත තොලගා සිටි අයගේ නැටුම් ගැයුම් මැද ශබ්දය තවත් තීව්‍ර විය.

මෙම උත්සවය පැවැතුණේ නිවසක නිසා ප්‍රශ්නය තවත් උග්‍ර විය. අධික ශබ්දය දරාගත නොහැකිව කුඩා දරුවෝ හඬන්නට ද පටන් ගත්හ. මේ පිළිබඳ සංවිධායකයන්ට කිහිප විටක්ම කිව්වත් ශබ්දය අඩු කිරීමට නටන පිරිස අකැමැති විය. මේ සිද්ධිය ඉවසිය නොහැකි තත්ත්වයට පත් වූ මංගල උත්සවයට පැමිණි මැදි වයසේ වැඩුණු සිරුරක් හෙබි පුද්ගලයකු සංගීතය මෙහෙයවන ස්ථානයට ගොස් කදිම උපායක් යෙදීය.
ඔහු මත්පැන් නොබිවත් බිමත් පුද්ගලයකු ලෙස හදිසියේ පිරිස මැදට ගොස් මයික්‍ර‍පෝනය උදුරා ගත්තේ “මමත් සිංදුවක් කියන්නම්” යනුවෙන් කියමිනි. මොහු දෙස බැලූ කවුරුත් අත්පුඩි ගසා “හා හොඳයි අංකල් පාස්ට් නම්බර් එකක්” යැයි කීවෝය.
මේ වන විට සංගීතය නතර වී තිබුණි.

පල්ලෙකන්දේ නන්ද මමයි තිබේ මටත් කෙළින් කොන්ද
අන්ද මන්ද නොවී ආමි කිව්ව නිසා ශ්‍රියානන්ද
කින්ද මන්ද කියලා අසමි මහ ශබ්දෙට වයන වෘන්ද
නවත්වන්න බැරිද තොපේ දඩින් බිඩින් ගීත ලන්ද

ශ්‍රියානන්දගේ මඟුල් ගෙදර සිටි බොහෝ දෙනා මෙම කවියට බොහෝ සේ ප්‍රශංසා කළහ. තවත් කවියක් කියන්නැයි බොහෝ දෙනා ඉල්ලා සිටියත් මොහු ඊට ප්‍රතිචාර නොදැක්වූයේ කවියට ගෞරවයක් තිබිය යුතුයි කියමිනි. ඉන්පසු සංගීතය හිමින් පැතිරුණි.

No comments:

Post a Comment