Sep 22, 2013

මං ආදරයට විරාමය තියලයි ඉන්නේ - නිරෝෂා විරාජිනී සමග කතාබහක්


සංගීතයේ විවිධ ඉසව් කරා විහිදී ගිය ඇගේ මෝහණීය හඬ වර්තමාන සංගීත ලෝකයට අත්‍යවශ්‍යම හඬක්. මෑත කාලයේ බොහෝ ගායිකාවන් බිහිවුවද තවමත් සිය ජනප්‍රියත්වය එක ලෙසම පවත්වා ගැනීමට සමත් වී සිටින ඇය නිරෝෂා විරාජිනී නම් දක්ෂ ජනප්‍රිය ගායිකාවයි. පෞද්ගලික ජීවිතය තුළදී විවිධ හැලහැප්පීම්වලට ලක් වූ නිරෝෂාඒ තුළින් පුවත් මවන්නියක් වූවා. කලකට පසුව අප ඇයව ඇමතුවේ නිරෝෂාගේ නවතම තොරතුරු බිඳක් රිද්ම පාඨක ඔබට ගෙන එන්නටයි.

මොනවද නිරෝෂගෙ අලුත්ම තොරතුරු
අලුත් ගීත කිහිපයක් කළා. ප්‍රවීණ සංගීතවේදීන් හා ප්‍රවීණ ගී රචකයින් කිහිපදෙනෙකු ඊට දායක වුණා.
දඇයි දැන් නවකයින් සමග කටයුතු කරන්නෙ නැද්ද?
පහුගිය කාලෙ මම නවක ගීත රචකයින් වගේම නවක සංගීතවේදීන් සමග ගීත රැසක් කළා. ඒ හින්දයි අලුත් ගීත කිහිපයක් කරන්න හිතුවේ.

මේ අලුත් ගීත රිඟින්ටෝන් අරමුණු කරගෙන කළ නිර්මාණද?

ගොඩක් වෙලාවට රිඟින්ටෝන් සඳහා යෙදෙන්නේ සරල වචන තියෙන ගීත. කෙටිකලකින් ජනප්‍රිය වුණාට ඉන්පසුව ඒවා පවතිනවා අඩුයි. මතෛක් මා ගැයූ ගීත අතර පවතින ගීත වගේම සරලව නිර්මාණය වූ ගීතත් තියෙනවා. අලුතින් නිර්මාණය කරන්නෙ ගැඹුරක් ඇති ගීත.
ගැඹුරක් ඇති ගීතත් ජනප්‍රිය ගී අතරට ගියා. අමරසිරි පීරිස්ගේ ‘මගේ පුංචි රෝස ම‍ලේ’ ඒ අතර තියෙනවා.
නමුත් ‍පොදුවේ ගත්තම රිඟිං ටෝන්වලින් වැඩි ආදායමක් ලැබෙන්නේ අර මා කියූ සරල නිර්මාණ.


රිඟින්ටෝන්වලින් ආදායම් ලබන්න පැරණි ගීත නවක පිරිස් ලවා ගායනා කෙරෙනවා. මාලිනී බුලත්සිංහල ගැයූ ‘හිමි නැති පෙමකට’ ගීතය ඔබත් ගැයුවා.?
ඔය ගීතයෙන් මම එක රුපියලක ආදායමක් ලැබුවා කියා කවුරුන් හෝ ඔප්පු කළොත්, එදාට මා ප්‍රසිද්ධියේ සමාව ගන්නවා.
ඒ ගීතය ලියූ රචකයා අද වන විට ගොඩක් අසරණ මට්ටමකයි ඉන්නේ. ඔහුට හොඳ නමක් තියෙනවා. නම විතරක් තිබුණට මනුෂ්‍යයෙකුට ජීවත්වෙන්න බෑ. ඒ හින්දයි ඔවුහු නැවත ඒ ගීතය කරලා රිඟින්ටෝන්වලට දුන්නේ. ඒ වෙලාවේ එම රචකයා වගේම සංගීතවත් කළ සංගීතවේදියා කියා සිටියේ මේ සඳහා නිරෝෂා විරාජිනීව යොදා ගත යුතු බව. ඒ හින්දා මා ඒ කටයුත්තට එක්වුණේ අර ගීත රචකයාට උදව්වක් විදියට.

නමුත් ඒ නිසා ඔබට දොස් නැගූ අය සිටියා.
ඒක අපේ රටේ ඇතැම් අයගේ ස්වභාවය. වෙනත් ගායකයෙකු හෝ ගායිකාවක ගැයූ ගීතයක් යළි වෙනත් කෙනෙකු යොදා ගැයුවොත් බණින්න ඉදිරිපත්වන විශාල පිරිසක් ඉන්නවා. නමුත් සෙලින් ඩියෝන් පවා වෙනත් ගායිකාවන් ගැයූ ගීත ගායනා කරල තියෙනවා. වරින් වර 1800 දෙනෙකු ගැයූ ගීතත් ලෝකයේ තියෙන බව මා අහල තියෙනවා.

ඔබගේ ගීතයක් වෙනත් ගායිකාවක් විසින් ගැයුවොත් ඔබ දක්වන ප්‍රතිචාර කොහොමද?
සංගීතවේදියාට හා රචකයාට ගීතයේ අයිතිය තියෙන බව ලොවටම ‍පොදු නීතියක්. ඒක හැමෝම දන්නවා. මා ගැයූ ගීතයන් වෙනත් ගායිකාවන් ගැයුවොත් අනේ අර මගේ ගීතය නේ කියල මටත් හිතෙයි. නමුත් ඒ ගැන හඬ නගන්න ගියොත් මම මෝඩයකු වෙනවා. රුක්මණි දේවියගේ ගීත යම් උපහාර උළෙලවල්වලදී අපිත් ගායනා කරනවා.
නමුත් ඒ ගීත අපේ වෙන්නෙ නෑ. ඒවා රුක්මණීදේවියගේ ගීත. මම ජීවතුන් අතර නැති කාලෙක වුණත් මගෙ ගී ප්‍රචාරය වනවා නම්, වෙනත් ගායිකාවන් ඒ ගී නැවත ගයනවා නම් මම කැමතියි. එතකොට මිනිස්සු දකියි මේ ‘නිරෝෂා විරාජිනී’ගෙ ගීත කියලා.

රියැලිටි තරගවලත් නවක පිරිස් බිහිවීම අද ප්‍රවණතාවයක්. ඒ අයව තෝරන්න ඔබත් එකතු වුණා. ඒත් ඒ විදියට බිහිවන අය අද කෝ...
මම ඒ තරගවලට එකතුවන්නේ රාජකාරියක් විදියට විතරයි. නාලිකාවකට පුළුවන් දක්ෂයින් තෝරලා ඉදිරිපත් කරන්න. ඒ අයගේ ඉදිරිගමන සාදාගතයුත්තේ ඒ අයමයි. ශිහාන් මිහිරංග, අමිල පෙරේරා වැනි කිහිපදෙනෙකු ඒක වටහාගත්තා. ඒකයි ඒ අය පවතින්නේ. නමුත් රියැලිටි තරගවලින් එන සමහරු හිතන්නේ අපිව ජනප්‍රිය කරවීම නාලිකාවේ වගකීමක් කියලා. ඒ වගේ අයට ගමනක් නැහැ. රියැලිටි තරගවලින් දක්ෂයින් එනවා.

මොනවද ආදරය ගැන අලුත් තොරතුරු?
(හිනැහී) මේ දවස්වල ආදරයට විරාමය තියලා ඉන්නේ.

ඇයි ඒ...?

කාලයත් එක්ක අපි හිතන විදිය වෙනස් වනවා. අද මම හිතන විදිය අනුවයි ආදරය දකින්නේ. මම දැන් සංගීතය තුළ ගොඩක් දේ කරනවා. අපි හැමදේම කරන්නේ සතුට හා සැනසීම ලබන්න. සමහරු ආදරය කරලා විවාහවෙලා දරුවන් ලබලා ඔය සතුට සැනසීම ලබනවා. මම ඒ සතුට සැනසීම ලබන්නේ සංගීතය තුළින්. තනිවම, ස්වාධීනව මගෙ පාඩුවේ මගෙ කටයුතු කරගෙන සංගීතයට ඇප කැපවී සිටීමෙන් මා ලබන සතුට හා සැනසීම විශාලයි. ඒක නැතිකරගන්න මම කැමති නැහැ.

ඒ කියන්නේ ඔබ සදාකාලිකව තනිකඩව සංගීතය සමගම ඉන්නවා කියන එකද?
මම කියන්නේ අද දවස ගැන. හෙට වෙද්දි මගෙ ජීවිතේ මොන විදියේ වෙනස්කම් වේවිද කියල මට කියන්න බෑ.

No comments:

Post a Comment