Sep 20, 2013

කවුරු මොනව කිව්වත් අපි දෙන්න හොඳින් ඉන්නවා - ෂෙරිල් - රුවන්

මුලින්ම ඇය අමා.. ඊට පස්සේ දම්සාරි... ඒ ඇයට ආදරය කරන අය ඇයට කතා කරපු විදිහ. ගොඩක් දෙනා ආදරය කරන මේ ‘ඇය’ තමයි ෂෙරිල් ඩෙකර්. ෂෙරිල් ගැන මේ දවස්වල නිතර කතා කළේ ඇය දම්සාරිට සමුදුන්නු නිසා.
ඒ වගේම ඇගේ ආදරණීය සැමියා රුවන් හෙට්ටිආරච්චිගේ ගීත නිසා. අපි ෂෙරිල්ටත්, රුවන්ටත් කතා කළේ දෙන්නාගේ අලුත්ම තොරතුරු වගේම ‘නොදැක ඉන්න බැරි තරමට’ ළංවුණු මේ දෙන්නාගේ ආදර කතාව ගැනත් කතා කරන්න.

“තාමත් අමා වෙලා ඉන්නද කැමැති?” අපි ෂෙරිල් එක්ක කතා කරන්න පටන් ගත්තේ එහෙම.
“මාව හැමෝම දැන ගත්තේ අමා නිසානේ. තාමත් ගොඩක් අය මට කතා කරන්නේ අමා කියලා. සමහර අය මට පාරෙදි එහෙම හම්බ වුණාම ‘ආ.. දම්සාරි. නෑ නෑ අමා නේද?’ කියලා අහන වෙලාවලුත් තියෙනවා. ගොඩක් අය මගේ නම දන්නෙත් නැති තරම්.

“ඒ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙන කෙනෙක් වෙලත් ඇයි දම්සාරි කතාවෙන් ඉවත් වුණේ?” මම ඇහුවේ ෂෙරිල් ගැන මේ දවස්වල වැඩිපුර කතා වෙන්න හේතුව ගැන දැනගන්න.
“ඉවත් වුණේ ඇයි කියලා අහපු එකම ලොකු දෙයක්. මොකද ආරංචිය ගියේ මාව ඉවත් කළා කියලනේ.”මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ෂෙරිල් එහෙම කිව්වා.“මම කා එක්කවත් තරහාවෙලා නාට්‍යයෙන් අයින් වුණේ නැහැ. ඒ නාට්‍යයේ හිටපු පිරිස මට සලකපු විදිහට මම කැමැති නැහැ. අමා කරද්දී නම් ඒ අය මට හොඳට සැලකුවා. මගේ හැකියාවට තැනක් දුන්නා. මම කැමැති ඒ විදිහට වැඩ කරන්න. මම එක පාරටම මේ ක්ෂේත්‍රයට ආපු කෙනෙක් ‍නෙවෙයි. මට හැකියාවක් තියෙන නිසානේ මට මුලින්ම හොඳ චරිතයක් ලැබුණේ. මම එකපාර ගොඩක් වැඩ කරන්න කැමැති කෙනකුත් ‍නෙවෙයි. ඒ නිසයි අමා ඉවර වුණාට පස්සේ දම්සාරි කළේ. ඒත් දම්සාරි වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. ඒ මහන්සියට මම යම් මුදලක් ඉල්ලුවා. මොකද මට මැරෙනකල් රඟපාන්න බැහැනේ. ඒ අය කළේ මට ඒ මුදල ගෙවන්නේ නැතුව මම ඉල්ලපු මුදල ගැන කිය කියා මාව කතාවෙන් අයින් කළා කියලා කියපු එක. මට උදව් නොකරන, මට සහයෝගයක් නැති අය එක්ක වැඩ කරන්න බැරි නිසා මම කැමැත්තෙන්ම අයින් වුණා මිසක් කවුරුත් මාව අයින් කළේ නැහැ.”

“ෂෙරිල් ඉවත් වුණාට පස්සේ දම්සාරිට ලැබුණු ප්‍රතිචාර අඩුවෙලාද?” කියලා මම ඇහුවේ දම්සාරි නිසා ෂෙරිල් බොහොම ජනප්‍රිය වුණු නිසා.
“අඩුවෙලා ඇති. මොකද පාරෙදි එහෙම මට හම්බවෙන අය කියන දේවල් නිසා මට එහෙම හිතෙනවා. මේ ළඟදි දවසක මට මුණ ගැහුණු කෙනෙක් කිව්වා මම නැති නිසා දම්සාරි බලන්නේ නැහැ කියලා. එහෙම අය තව ඇතිනේ.”
එහෙම කියපු ෂෙරිල් තමන්ටම කියලා රසික පිරිසක් ඉන්න එක ගැන කතා කළේ සතුටින්.
“මම ගොඩක් නාට්‍යවල හිටියේ නැති වුණාට මට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා. මම හිතන්නේ අපි මොනවා කළත් මුල මතක තියාගෙන වැඩ කළොත් අපට වරදින්නේ නැහැ කියලා.”

“කොහොමද රුවන් එක්ක ගත කරන අලුත් ජීවිතේ?” මම ඇහුවේ කතාව වෙනස් කරන්න.
“අපි දෙන්නා හරි සතුටින් ඉන්නවා. රුවන් මට උදව් කරනවා. මම රුවන්ට උදව් කරනවා. රුවන් සංදර්ශනවලට යද්දිත් මම රුවන් එක්ක යනවා. නැත්නම් රුවන් තනියමනේ.”

“වැඩ අඩු දවසට මොකද කරන්නේ?” කියලා ඇහුවාම උත්තර දුන්නේ රුවන්.
“අපි නිතරම කෑමට එළියට යනවා. ෂෙරිල් ආසයි එළියට ගිහින් කෑම කන්න. වැඩ අඩු දවසට කරන්නේ ටිකක් ඇවිදලා පිටින් කෑම කාලා එන එක තමයි.”

“ෂෙරිල් රඟපානවාට රුවන් කැමැතිද?”
“රඟපාන චරිතවල අඩුපාඩු කියලා දෙනවා. එහෙම නැතුව නීති දාලා නැහැ.” කියලා රුවන් කියද්දී ෂෙරිලුත් කතා කළා.
“රුවන් මාත් එක්ක මගේ වැඩවලට එනවා. මම රඟපාන චරිත දිහා බලලා සමහර වෙලාවට කියනවා මීට වඩා හොඳට කරන්න තිබුණා කියලා.”

“රුවන්ගේ ගීත රචනාවලට ෂෙරිල්ව විතරක් ගන්න පුළුවන් නේද?” කියලා ඇහුවාම උත්තර දුන්නේ ෂෙරිල්.
“මම ඉන්නවා අලුත් රූප රචනයක. හැබැයි මම ඒ සින්දුවට කැමැති නැහැ. මොකද ඒකේ කියන්නේ මම එයාව දාලා ගිහින් කියලා.”

“රුවන්ගේ සමහර සින්දු නිසා ඔය දෙන්නාට කතාවකුත් හැදුණා නේද?” පසුගිය දවස්වල ෂෙරිල් සහ රුවන් ගැන කියැවුණු තවත් ආරංචියක් ගැන මම ඇහුවේ ෂෙරිල් කියපු දේ නිසා.
“කතාවක් හැදුණා අපි දික්කසාද වෙලා කියලා. මම දන්නේ නැහැ කවුරු මොන හේතුවකට ඒ වගේ කතාවක් හැදුවාද කියලා. මට හිතෙන්නෙම කවුරු හරි මෝඩයෙක් හදපු මෝඩ කතාවක් කියලා. රුවනුයි මායි දෙන්නාම ඉන්නේ හොඳ තේරුම් ගැනීමකින්. කවුරුත් හිතනවාට වඩා අපි ලොකු ආදරයකින් බැඳීමකින් ඉන්නේ. මේ දවස්වල ගොඩක් අය දික්කසාද වෙන එක විලාසිතාවක් වෙලා තියෙන්නේ. ඒ වුණාට අපි ඒ විලාසිතාවට යන්නේ නැහැ. මම රුවන්ට වුණත් නිතරම කියන්නේ ඇයි අපි මෙච්චර හොඳට ඉන්නකොටත් කතා හැදෙන්නේ කියලා. මමයි, රුවනුයි දෙන්නම කෙළින් කතා කරන අය. අපි එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට මූණට කියන්න පුළුවන්නේ. කතා හදන්නේ නැතුව. කලාකාරයෝ විදිහට අපිටත් පුද්ගලික ජීවිත තියෙනවා. අපි සතුටින් ඉන්නකොටත් මේ වගේ කතා හදන එකට දුකයි. අපි ආදරේ කරලා විවාහ වුණේ වෙන්වෙන්න ‍නෙවෙයි. හැමෝම ඒක තේරුම් ගන්න ඕන.”

“ඔය කතා අතරේ වුණත් රුවනුත්, ෂෙරිලුත් වැඩ අතපසු කරගත්තේ නැහැ?” කියලා ඇහුවාම මුලින් කතා කළේ ෂෙරිල්.
“මම රඟපෑමෙන් ඈත්වෙලා හිටපු නිසා සමහරු හිතනවා ඇති මම රංගනයෙන් ඈත්වෙලා කියලා. එහෙම නැහැ. මම හොඳ දේවල්වලට මගේ දායකත්වය දෙනවා. ඒ හැරුණාම මම පසුගිය කා‍ලේ දවස් 21ක් ඔස්ට්‍රේලියාවේ ගියා. ඒ නර්තන ප්‍රසංගයකට.”
“මමයි, ෂෙරිලුයි දෙන්නාම මේ සතියේ දකුණු කොරියාවේ සංදර්ශනයකට යනවා. අපි දෙන්නම ගොඩක් ප්‍රසංගවලට යන්නේ එකට. කවුරු මොනවා කිව්වත් අපි දෙන්නා හොඳට තේරුම් අරගෙන හොඳට ඉන්නවා.”

No comments:

Post a Comment