Sep 20, 2013

මගේ පුද්ගලික ජීවිතේ ගැන මම නොදන්න දේවලුත් සමහර අය දන්නවා - චන්දික නානායක්කාර

චන්දික නානායක්කාර, අවුරුදු කීපයකට කලින් ජනතා සම්මාන ලබපු ජනප්‍රියම නළුවා වුණත් අද චන්දිකව වැඩිපුර දකින්න ලැබෙන්නේ නැහැ. චන්දික දැන් රඟපෑමෙන් ඈත්වෙලාද නැත්නම් මේ දවස්වල නොපෙනෙන්නේ ඇයි? කියලා දැනගන්න අපි චන්දිකට කතා කළා.
ජනප්‍රියම නළුවා වුණාට පස්සේ චන්දිකව දැක්කේ අඩුවෙන්?
අඩුවෙන් දකින එක මගේ වරදක් නමෛයි. මම කරපු ටෙලි නාට්‍ය තව 20 ක් විතර තියෙනවා පෙන්වන්න. පෙනුණත්, නොපෙණුනත් මම මගේ වැඩ දිගටම කරගෙන යනවා.

මොනවද ඒ විදියට මේ දවස්වල කෙරෙන වැඩකටයුතු?
දැනට ටෙලි නාට්‍ය දෙකක විතර රූපගත කිරීම් කරගෙන යනවා. චිත්‍රපටයකටත් සූදානමක් තියෙනවා.

චන්දිකට තිබුණු ජනප්‍රියත්වය දැන් අඩුවෙලාද?
මම එක ළඟ අවුරුදු දෙකක් ජනප්‍රිය නළුවා වුණා. ඒ කාලෙ මම රඟපාපු නාට්‍යය කිහිපයක්ම විකාශනය වුණා. මිනිස්සු මාව හැමදාම රූපවාහිනියෙන් දැක්කා. ඒ නිසා ඒ දවස්වල මම ඉක්මනටම ජනප්‍රිය වුණා. දැන් ඒ තරමටම ජනප්‍රිය නැහැ. ඒ වුණත් මම මිනිස්සු අතර ඉන්න කෙනෙක්.

චන්දිකව ජනප්‍රිය කරපු චරිතවල ඉන්න අය අපට හැබෑවට මුණගැහෙනවද?
ගොඩක් ජනප්‍රිය වෙන චරිත අපිට ඇත්ත ජීවිතේදී මුණගැහෙන්නේ නැහැ. හැබැයි ඒ චරිත වලට මිනිස්සු ආදරෙයි. සමහර විට මිනිස්සු එහෙම ආදරේ කරන්නේ තමන්ට කරන්න බැරි සමහර දේවල් ඒ චරිතවලින් කෙරෙන නිසා වෙන්න ඇති.

ප්‍රේමවන්ත චරිතයකටම විතරයිද නළුවෙක්ව ජනප්‍රිය කරන්න පුළුවන් වෙන්නේ?
ප්‍රේමාන්විත චරිතවල ඉන්න අය මිනිස්සුන්ගේ හිත්වල වීරයා වෙනවා. ඒ අය තමන්ගේ හිතේ ඉන්න වීරයාව ජනප්‍රිය කරවනවා. ඒක පුදුමයක් නමෛයි. හැබැයි ඒ චරිතය ඒ නාට්‍යයේ තියෙන ප්‍රධාන චරිතය වෙන්න ඕන නැහැ. ඒ වගේම ප්‍රේමාන්විත චරිත තරමට ජනප්‍රිය නොවුණත් මිනිස්සු අතර කතාබහට ලක්වෙන චරිත තියෙනවා.

චන්දික රඟපාන්නේ තොරාගත්තු චරිත විතරද?
ලැබෙන චරිතවලින් ගොඩක් තෝරා බේරා ගන්නගියොත් අපිට ජීවත් වෙන්න විදියක් නැති වෙනවා. ඒ නිසා ලැබෙන චරිත රඟපානවා.

ලැබුණු චරිත ප්‍රතික්‍ෂේප කරලාම නැද්ද?
ප්‍රතික්‍ෂේප කරපු චරිත තියෙනවා. හැබැයි එහෙම කළේ චරිතය කළුද සුදුදු කියලා බලලා නමෛයි. මගේ වයස, මට කරන්න පුළුවන් දේවල් එක්ක බැලුවාම මම මිනිස්සුන්ගේ සිනහවට ලක් වෙයි කියලා හිතෙන චරිතවලට මම බැහැ කියනවා.

ඒ කියන්නේ චන්දික, චන්දිකගේ හැකියාව ගැන විශ්වාස නැහැ?
විශ්වාසය නැතිකම නමෛයි. මම හදාගත්තු නමට හානියක් වෙයි කියන බය. මම දැන් ඉස්කෝ‍ලේ ඕලෙවල් පන්තියේ ඉන්න ළමයකුගේ චරිතයක් කළොත් මට හැමෝම හිනාවෙනවානේ. මම ප්‍රතික්‍ෂේප කරන්නේ අන්න ඒ වගේ චරිත. නැතුව රඟපාන්න බැහැ කියලා හිතලා චරිත ප්‍රතික්‍ෂේප කරනවා නමෛයි.

දීර්ඝ ටෙලි නාට්‍යවලට චන්දිකගේ වැඩි කැමැත්තක් තියෙනවද?
මම රඟපාන්නේ ටෙලි නාට්‍යවලට තියෙන කැමැත්තට වඩා චරිතවලට තියෙන කැමැත්තට. වෙනස් වෙනස් චරිත කරන්න මම කැමැතියි. දීර්ඝ ටෙලි නාට්‍යවලදී අපිට ‍පොඩිවාසියකුත් තියෙනවා. මොකද සමහර නාට්‍යවලදී අපට පිටපතක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නාට්‍ය විකාශනය වෙද්දී ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව චරිතය හැඩගස්වා ගන්න පුළුවන්.

පිටපතක් නැතිව රඟපාන්න පුළුවන්ද?
දැන් ගොඩක් නාට්‍යවල රඟපාන්නේ පිටපතක් නැතුව තමයි. පිටපතක් නැතිවුණාට අධ්‍යක්ෂවරයා අපිට චරිතය විස්තර කරනවා. ඒ විස්තර කිරීම අනුව රඟපෑමයි අපි කරන්නේ. පිටපතක් නැති වුණාම චරිතවලට අසාධාරණයක් වෙන වෙලාවලුත් නැත්තේ නැහැ.

චන්දික ජනප්‍රිය වුණු චරිත වගේම චරිතවලට ආයේ ආයේ ආරාධනා ලැබිලා නැද්ද?
ඒක මට විතරක් ‍නෙවෙයි දැන් ගොඩක් අයට වෙලා තියෙන දෙයක්. දැන් අධ්‍යක්ෂවරුන්ගේ දුර්වලතාව නිසයි එහෙම වෙන්නේ. ඒ අය එහෙම කරන්නේ එතකොට ඒ චරිතවලට ආයෙ ආයේ හැඩගැහෙන්න යන වෙලාව අඩුවෙන නිසා. එතකොට ඒ අයට එක දවසකදී වැඩි රූගත කිරීම් ප්‍රමාණයක් කර ගන්න පුළුවන් වෙනවානේ.

එතකොට අලුත් චරිත බිහිවන්නේ නැහැ නේද?
පරණ චරිත ගැන ම හිතන්නේ නැතුව අලුත් චරිත නිර්මාණය කරල නාට්‍යය හදන අයත් ඉන්නවා. ඒ අය තමයි නියම නාට්‍ය කරන්නේ.

වෘත්තීය විදියට රංගනය තෝරා ගත්තු එක හොඳ තීරණයක්ද?
තමන්ට හොඳට කැපවීමෙන් වැඩකරන්න පුළුවන් නම් උත්සාහය තියෙනවා නම් හොඳ ආර්ථිකයක් හදාගන්න රංගනය කියන්නේ හොඳ වෘත්තියක්.

චන්දික තවමත් තනිකඩයි?
මට විවාහය ගැන අදහසක් නැත්තේ නැහැ. ඒත් එක දේකට වැඩි කාලයක් යොදවද්දී තව සමහර දේවල් මගහැරිලා යනවා. හැමදේම එක වෙලාවේ කරන්න බැහැනේ. මම පසුගිය කාලෙම ගත කළේ රඟපෑමෙන් ඉස්සරහට ගිහින් මගේ ආර්ථිකය හදා ගන්න.

වෘත්තීය ජීවිතේ හදා ගනිද්දී පුද්ගලික ජීවිතේ මගහැරෙන එක හොඳ දෙයක්ද?
මම හිතන්නේ මට පුද්ගලික ජීවිතයක් නැහැ. මගේ පුද්ගලික ජීවිතේ ගැන මම නොදන්න දේවලුත් සමහර අය දන්නවා. එහෙම බැලුවාම හැමෝම මම ගැන දන්න ටික තමයි මගේ පුද්ගලික ජීවිතේ. මගේ පුද්ගලික ජීවිතේ ගැන හැමදේම හැමෝම දන්නවා.

චන්දික ක්‍ෂේත්‍රයේ හොඳ නමක් තියාගෙන ඉන්න කෙනෙක්ද?
මටත් ඕනතරම් කතා හැදිලා තියෙනවා. ඒ කතා කොහොම, මොකට හැදෙනවද කියලා මම දන්නේ නැහැ. දැන් නම් සමහර අය තමන්ම කතා හදා ගන්නවානේ ජනප්‍රිය වෙන්න. හැබැයි ඔය කතාවලට මම වැටෙන්නේ නැහැ. මම මගේ වැඩේ හරියට කරලා හරියට ඉන්නවා.

චන්දිකට තරහකාරයෝ නැද්ද?
මූණට හම්බ වුණාම නම් හැමෝම හොඳට කතා කරනවා. මූණට හිනාවෙලා හැරිලා යද්දී බණිනවද කියලා නම් මම දන්නේ නැහැ.

ඉස්සරහට මොනවද බලා‍පොරොත්තුව?
මට ලැබිලා තියෙන දේවල් එක්ක හොඳට ඉන්නවා.

No comments:

Post a Comment