Sep 19, 2013

ගොඩක් අය ලස්සන නැති කරගන්නෙ කට නිසා - නයනා කුමාරි රූපය ගැන කියන රහස

ඇය නයනා කුමාරි. කලා ලෝකෙදී ඔබ ඇයව හඳුන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසයි. නමුත් රංගන ශිල්පිනියකගේ භූමිකාවෙන් මඳක් ඔබ්බට ගිය ඇගේ ජීවිතේ තවත් සොඳුරු පැතිකඩක් දකින්නට අපි ඇයව සොයා ගෙන ගියා.
පුංචි තිරයේ ඔබ වැඩිය පෙනෙන්නට නැත්තේ රංගනයෙන් ඈත්වෙලාද?
ඈත් වෙලා නම් නැහැ. ටික කාලයක් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මේ දවස්වල ටෙලි නාට්‍ය දෙක තුනකට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍යවලට නොගියත් තරමක් කාර්ය බහුලයි.

මං හිතන්නේ ඔබ කාර්ය බහුල ඔබේ රූපලාවණ්‍යාගාරය නිසා නේද?
ඔව්. පසුගිය දිනවල මංගල උත්සව කිහිපයකට මනාලියන් හැඩගන්වන්න තිබුණා. ඒ නිසා තමයි ටිකක් කාර්ය බහුල වුණේ.

රඟපෑමයි රූපලාවණ්‍යාගාරයේ වැඩකටයුතුයි එකට කරන්න අපහසු නේද?
අපහසු නම් නැහැ. මොකද මම කවදාවත් ඔළුව අවුල් කරගෙන වැඩ කරන්නේ නැහැ. රඟපෑම සීමා කරලයි රූපලාවණගාරයේ ඉන්නේ. ඒ නිසා මේ දෙක අතරේ ඝට්ටනයක් ඇති වෙන්නෙ නැහැ. මේ සියල්ල අතරෙම පුතාගෙයි මහත්තයාගෙයි වැඩ කරන්නත් මං වෙලාව වෙන්කර ගන්නවා.

ඔබේ රූපලාවණ්‍යාගරයට සේවාදායකයො එන්නේ නයනා කුමාරි කියන රංගන ශිල්පිනිය නිසාද?
අනේ නැහැ. අද ඉන්න මිනිස්සු මෝඩ නැහැ. සමහරු මිනිස්සුන්ව මෝඩයො කරන්න උත්සහ කරනවා. ඒත් හරිදේ තේරුම් අරන් කරන්න තරම් අවබෝධයක් බොහෝ දෙනෙකුට තියෙනවා. අපි කරන රූපලාවණ්‍ය ප්‍රතිකාරවල හොඳ ප්‍රතිඵලයක් තිබෙනවානම් අනිවාර්යයෙන්ම සේවාදායකයෝ අපි ළඟට එනවා. ඒකට රංගන ශිල්පියෙක් කියන එක බලපාන්නේ නැහැ.

ලස්සන වෙන්න රූපලාවණ්‍යාගාරයක් ඕනමද?
කාන්තාව කියන්නේ උපතින්ම ලස්සන කෙනෙක්. පිරිමියත් එහෙමයි. මේ දෙන්නා දෙවිධියකට ලස්සන නිසයි මේ ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ.එහෙම නැතිනම් මේ ලෝකේ ලස්සන වෙන්නේ නැහැ. ඒ වගේම මං රටවල් බොහොමයකත් ලංකාවේ හැම තැනකම වගේත් ඇවිදලා තිබෙනවා. මේ කිසිම තැනකදි මම කැතයි කියලා කෙනෙක්ව දැකලා නැහැ. උපතින්ම හැම කෙනෙක්ම ලස්සනයි. රූපලාවණ්‍යාගාරයකින් කරන්නේ ඒ ලස්සන හොඳින් පවත්වාගෙන යන්න උපකාර කරන එක. තිබෙන ලස්සන ඉස්මතු කරගෙන වියැකෙන්න දෙන්නෙ නැතුව හිටියොත් ලස්සන ආරක්ෂා වෙයි. එහෙම නැතුව ලස්සන මවන්න ආශ්චර්යයක් කරන්න බැහැ.

ලස්සන වෙන්න බාහිර ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත්ද?
ඇත්තටම නැහැ. බාහිරින් තාවකාලිකව ලස්සන වෙන්න කරන්න ඕන තරම් දේවල් තිබෙනවා. නමුත් ප්‍රධාන දේ තමයි කෙනකුගේ මනස, හදවත නිරෝගී වෙන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. ඒ වගේම නිරෝගී වීමත් වැදගත්. කතාවටත් කියනවනෙ රජෙක් වුණත් වැඩක් නැහැ නිරෝගී නැත්නම් කියලා. මනස ආරක්ෂා කරගන්න අපිට හරිම අපහසුයි. බාහිරින් මොන දේ කළත් හදවත පිරිසිදුව තියාගන්න අපහසුයි. ඒ නිසා බාහිර පෙනුම ලස්සන වෙලා වැඩක් නැහැ.

බාහිර ලස්සන ඇති කරගන්න පුංචි උපදෙසක් දුන්නොත්
ලස්සන වෙන්න, නිරෝගී වෙන්න කරන්න පුළුවන් හොඳම දේ හොඳින් වතුර බොන්න. මොකද ශරීරයට වතුර ඉතාමත් අවශ්‍යයි. නිරෝගී, ක්‍රියාශීලී වෙන්න ඒක ඉතාමත් වටිනවා. ඒ වගේම හොඳින් ආහාර ගන්න ඕන. පලතුරු එළවළු පුළුවන් මට්ටමට ආහාරයට එකතු කරගන්න ඕන. වේලක්වත් මග හරින්න හොඳ නැහැ.

ඒ වගේම ආහාර ගන්න ක්‍රමයක් තිබෙනවා. මේක වෛද්‍ය විද්‍යාවේ අනුමත කරපු දෙයක් අපි ආහාර ගන්න විට  ඒ ආහරය ගන්න ඕන 50ක්. ඉතුරු 50න් 25ක් වතුර පානය කරන්න ඕන. ඉතුරු 25 හිස්ව තියාගන්න ඕන. එතකොට තමයි ආහාර හොඳින් ජීර්ණය වෙන්නේ. නමුත් අපි 100 කන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක ශරීරයට සුදුසු වෙන්නේ නැහැ.

වර්තමාන කාන්තාවන්ගේ ලස්සන නැතිවෙන්න ප්‍රධානතම හේතුව ඔබ දකින්නේ මොනවගේද?
අපේ ගොඩක් කාන්තාවො තිබෙන ලස්සන නැති කරගන්නේ කට නිසා. අතට අහුවෙන හැම දේම කනවා. ඒ නිසා අනවශ්‍ය ආකාරයට මහත් වෙනවා. මහත් වෙද්දී ඇතැම් අය කළු වෙනවා. සමහර අය මහත් වෙනවා. ඉතිං සිරුර අවලස්සන වෙනවා. ආහාර ගැනීමෙන් මේවා පාලනය කරගන්න පුළුවන්. පෙනුමෙන් විතරක් කෙනෙක්ගේ ලස්සන මනින්න බැහැ. කෙනෙක් ඉස්සරවෙලාම යහපත් මනුෂ්‍යයෙක් වෙන්න ඕන. මනුස්සකම නැත්නම් මොනතරම් ලස්සන වුණත් වැඩක් නැහැ. මනුෂ්‍ය ආත්මයක් ගන්න ගොඩක් පිං කරන්න ඕන.

අද රූපලාවණ්‍යාගාර ලෙස පවත්වාගෙන යන ඇතැම් ස්ථානවල සිදුවන්නේ විවිධාකාර අනියම් දේවල්. ඒක නියම ආකාරයට රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන අයට ප්‍රශ්නයක් නේද?
ඇත්තටම ඔව්. ඒවගේ තැන්වලට යන්නෙත් වෙනත් අවශ්‍යතාවක් තිබෙන පිරිස්. ඒවා නියම රූපලාවණ්‍යාගාර ‍නෙවෙයි. ප්‍රසිද්ධියේ කරන්න බැරි දේවල් තමයි මෙහෙම කරන්නේ. මේ රටේ නීතියක් තිබෙනවා. මං හිතනවා ඒ වගේ ස්ථාන ගැන නීතිය ක්‍රියාත්මක කළොත් ඒවා නැති කරන්න පුළුවන් වෙයි.

එතකොට ඔබ රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කරන්න හිතුවේ ඇයි?
රූපලාවණ්‍යය ගැන මං ඉගෙන ගත්තේ මීට ගොඩක් කාලෙකට කලින්. රංගන ශිල්පිනියක් වුණත් මං කවදාවත් වෙනත් රූපලාවණ්‍යාගාරයකට ගිහින් නැහැ. මගේ හැමදේම කරගත්තේ මං. රංගන ශිල්පිනියක් වුණත් කසාද බැඳලා දරුව ලැබුනම රඟපෑම සීමා කළා. ඉතිං ඊට පස්සේ දන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්න හිතුන නිසා මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා. මට ඕන වුණේ ගෙදරට ශක්තියක් වෙන්න. කාන්තාවක් වුණාම ජීවිතයට මුහුණදෙන්න ඕන.

ඉදිරියේදි අපිට ඔබව දකින්න පුළුවන් නිර්මාණ ගැනත් පුංචි සඳහනක් කළොත්?
“අහංකාර ස්ත්‍රිය” චිත්‍රපටය ටෙලිනාට්‍යයකට නැගුවා. එය විකාශය වෙන්න තිබෙනවා. ඒ වගේම “මුතු කුඩයක්” කියලා තවත් ටෙලි නාට්‍යයක් එන්න තිබෙනවා. එහි චරිතය මං ගොඩක් ආසාවෙන් කරපු ටිකක් වෙනස් චරිතයක්. මාළු විකුණන, මත්පැන් බොන කාන්තාවකගේ අභියෝගාත්මක චරිතයක්. ඊට අමතරව “සඳ එළිය” කියන නාට්‍යයත් විකාශය වෙන්න නියමිතයි.

No comments:

Post a Comment