රැවුල නිසා ශ්‍රියන්ත ලොකු අවුලක පැටලෙයි
වේදිකාව,
පුංචි තිරය වගේම සිනමාව තුළත් තමන්ගේ රංගන කුසලතා පළ කළ ප්‍රවීණ නළු
ශ්‍රියන්ත මෙන්ඩිස් තමන් රඟපාන කවර චරිතයකට වුවත් උපරිම සාධාරණත්වය ඉටුකරන
නළුවෙක්. ඒ වෙනුවෙන් ඔහු උපරිමයෙන් කැපවන බවත් අමුතුවෙන් කිවයුතු නැහැ.
නමුත් පසුගියදා ශ්‍රියන්තට රඟපාන්නට ලැබුණු සුවිශේෂ චරිතයක් ඔහුගෙන් ගිලිහී
ගිය පුවතක් ගැන අපට අසන්නට ලැබුණා. “අනගාරික ධර්මපාලතුමාගේ ජීවන චරිතය”
සනත් අබේසේකර විසින් සිනමාවට ගෙන ඒමට සූදානම් වන විට එම චරිතයට ශ්‍රියන්තට
ආරාධනා කළ බවත් ශ්‍රියන්ත අදාළ චරිතය වෙනුවෙන් තමන්ගේ රැවුල කැපීම
ප්‍රතික්ෂේප කළ නිසා අදාළ චරිතයට ප්‍රවීණ නළු පාලිත සිල්වා තෝරාගත් බවත් ඒ
පුවතට ඇතුළත් වුණා. පුවතේ සුලමුල දැනගන්න අපි ශ්‍රියන්තට කතා කළා.
සනත් අබේසේකරගේ නවතම නිර්මාණයේ අනගාරික ධර්මපාලතුමාගේ චරිතයට මුලින් තෝරාගෙන සිටියේ ඔබද?
ඔව්, මට ඒ සඳහා ආරාධනා ලැබුණා
නමුත් දැන් එය රඟපාන්නේ පාලිත සිල්වා....ඇයි ඔබට අවස්ථාව අහිමි වුණේ?
අනගාරික
ධර්මපාලතුමාගේ අප දකින සෑම ඡායාරූපයකම එතුමා රැවුල කපලයි ඉන්නේ. මුල්
කාලයේ එතුමා රැවුල වවා සිටියත් පසුකාලයේ රැවුල කැපුවා. නමුත් එතුමා රැවුල
වවා සිටියදී ගනුලැබූ කිසිම ඡායාරූපයක් නැහැ. ඒ නිසා මා එම චරිතය රඟපානවා
නම් රැවුල කපන්නට වනවා. මා එය
ප්‍රතික්ෂේප කළ නිසයි මට එම නිර්මාණයෙන් ඉවත්වෙන්න සිදුවුණේ.
ඔබ වැනි ප්‍රවීණයෙකු රඟපාන චරිතය වෙනුවෙන් කැපවීමක් කරන්නට මැලිවීම පුදුමයට කරුණක්...
ඊට
හේතු තිබුණා. අනගාරික ධර්මපාලතුමාගේ චරිතයට ආරාධනා ලැබෙන විට මා විසින්
භාරගත් ටෙලිනාට්‍ය දෙකක් තිබුණා. ඒ දෙක වෙනුවෙන් රැවුල අවශ්‍යයි. ඒ නිර්මාණ
දෙකත් සුවිශේෂී නිර්මාණ දෙකක්. ඒ වන විටත් ඒවායේ රූගත කිරීම් සිදුකෙරෙමින්
පැවතුණා.
මොනවද ඒ ටෙලිනාට්‍ය දෙක?
තුසිත ද සිල්වාගේ “විෂ්ණු සංක්‍රාන්තිය” හා සංජය නිර්මාල්ගේ “නාග වල්ලි”
එම ටෙලිනාට්‍ය දෙකත් සුවිශේෂී බව ඔබ සඳහන් කළා....
“විෂ්ණු
සංක්රාන්තියේ” මම ගුරුන්නාන්සේ කෙනෙක්. නමුත් ඒ ගුරුන්නාන්සේගේ චරිතය
සුවිශේෂිත එකක්. ඔහුගේ පුතා මිය යනවා. කවදා හෝ දවසක තමන්ගේ මියගිය පුතාට පණ
දෙන්නට හැකිවේය කියන විශ්වාසය තුළයි මේ ගුරුන්නාන්සේ කටයුතු කරන්නේ.
“නොත්‍රදාම් කුදා” කියන ඉංග්‍රීසි නවකතාව ඇසුරිනුයි “නාග වල්ලි”
ටෙලිනාට්‍යය නිර්මාණය වන්නේ. මම එහි පූජකවරයකු ලෙස රඟපානවා.
දැන් එම ටෙලි නාට්‍ය දෙක රූගත කර අවසානද?
එකක් ඉවරයි. තව එකක දර්ශන කිහිපයක් තියෙනවා.
අධ්යක්ෂවරයා සමග කතාබහ කරලා “අනගාරික ධර්මපාල” තුමාගේ කතාව ඇතුළත් නිර්මාණයට ලැබුණු අවස්ථාව රැක ගන්න උත්සාහ කළේ නැද්ද?
මම
මුලත් සඳහන් කළානේ අනගාරික ධර්මපාලතුමා මුල් කාලයේ රැවුල වවා සිටි බව.
මුලින් එම දර්ශන රූපගත කරලා ඉන්පසුව රැවුල කපා සිටින දර්ශන රූගත කරන්නට
මුලදී කතාබහ කරගත්තා. එසේ වූවානම් ටෙලි නාට්‍ය දෙක අවසන් වූ පසු අනගාරික
ධර්මපාලතුමාගේ චරිතයේ ඉතිරි කොටස කරන්නට තිබුණා. ඒත් පිටපතේ යම් යම්
වෙනස්කම් වූ නිසා පසුව එම තත්ත්වය වෙනස් කරන්නට වුණා. අනගාරික
ධර්මපාලතුමාගේ සැමරුම් දිනයට මෙම නිර්මාණය ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය
අධ්යක්ෂවරයාට තිබුණා. ඒ නිසා ටෙලි නාට්‍ය දෙක අවසන් වනතුරු රූගත කිරීම්
පමා කරන්නත් බැහැ. ඒ හින්දා ඔය තීරණය තමයි ගන්නට සිදුවුණේ.
අනගාරික ධර්මපාලතුමාගේ චරිතය රඟපෑමේ අවස්ථාව අහිමිවී යාම ගැන කනගාටුවක් නැද්ද?
කනගාටුවක්
නැහැ කියලා කිවුවොත් ඒක බොරුවක්. කිසිම රංගන ශිල්පියෙකු කිසිදා තෘප්තිමත්
වන්නේ නැහැ. අනගාරික ධර්මපාලතුමාගේ චරිතය රඟපාන්නට ලැබිම නළුවෙකුට ලැබෙන
දුර්ලභ අවස්ථාවක්. එතුමා මෑත කාලයේ බිහිවූ යුග පුරුෂයෙක්. එදා එතුමා කී
දේවල් අදටයි වඩාත් වලංගු වන්නේ. එවැනි චරිතයක් රඟපාන්න ලැබුණු අවස්ථාව
ගිලිහී යාම ගැන ඇත්තටම කනගාටුයි.
මෙවැනි සිදුවීම් නිසා අධ්යක්ෂවරුන් හා රංගන ශිල්පීන් හිත් අමනාපකම් ඇති කර ගත්තු අවස්ථා අප දැක තිබෙනවා.
අප අතර නම් එවැනි අමනාපයන් ඇති වුණේ නැහැ. අධ්යක්ෂවරයා සහ මම කතාබහ කරලා තමයි අවසන් තීරණයට එළැඹුනේ.
ඔබට අහිමි වූ අවස්ථාව පාලිත සිල්වාට හිමිවීම ගැන මොකද හිතෙන්නේ
පාලිත
සිල්වා කියන්නේ අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. රංගන හැකියාව වගේම ඔහු
මනා පෞරුෂයක් ඇති කෙනෙක්. කාලාන්තරයක් වේදිකාව, ටෙලිනාට්‍ය කලාව හා සිනමාව
තුළ රැඳිලා එකතු කර ගත් දැනුම් සම්භාරයෙන් පෝෂණය වූ කෙනෙක්. ඔහු මෙම
චරිතයට ඉතා හොඳ සාධාරණයක් ඉටුකරයි කියා හිතනවා.
No comments:
Post a Comment